අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ගමන්මග
"ලොව සංචරණය සඳහා හොඳම රටවල් අතර පළමු රට ශ්‍රී ලංකාව"
-Lonely planet 2018-
සැප්තැම්බර් 27. එනම් ලෝක සංචාරක දිනයයි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට සංචරණය නම් විවේකය, විශ්‍රාන්තිය උදෙසා
ගමන් කිරීම නම් ක්‍රියාදාමයක් බවට පත් වෙමින් ඇති සංචාරක කර්මාන්තය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කිරීමේ දී මුළු මහත් ලෝකයට ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වී ඇති කාල වකවානුවක එහි ශ්‍රී ලාංකීය පසු බිම විපරම් කිරීම වැදගත් වේ.
විධිමත් ලෙස 1966 සිට ඇරඹී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් වශයෙන් අද වන වන විට විශාල වර්ධනයක් හිමිකරගෙන සිටී. එහි දී අපේ රටේ විදේශ විනිමය අතින් 1999 වර්ෂයේදී හතර වන ස්ථානයත් අද වන විට තුන්වන ස්ථානයත් හිමිකර ගෙන සිටින්නේ සංචාරක කර්මාන්තයයි. මෙවැනි වර්ධනයකට හිමිකම් කීව ද සංචාරක කර්මාන්තය මෙතෙක් දුර පැමිණ ඇත්තේ අවාසනාවන්ත ගමන් මගක් ඔස්සේ යැයි පැවසීම නිවැරදිය. අතීතය පිරික්සීම ඔස්සේ එය මැනවින් හඳුනාගත හැකිය.
යටත් විජිත යුගයකට හිමි කම් කියන ශ්‍රී ලංකාව තුළ පැවතී ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය ලිහිල් වීමත් සමග නව ආර්ථික ක්‍රමෝපායක් ලෙස සංචාරක කර්මාන්තය ඉදිරියට පැමිණෙන්නට විය. මෙකී ළදරු ආර්ථිකයත් සමඟ 1966 වර්ෂයේ සංචාරක මණ්ඩල පනත, හෝටල් සංස්ථා පනත ආදිය ඉදිරියට පැමිණීම වැනි කාරණා ඔස්සේ විධිමත් අයුරින් සංචාරක කර්මාන්තය ආරම්භ වීම සනිටුවහන් විය. එම වසර තුළ සංචාරක පැමිණීම 18000 ක් වාර්තා විය. එහිදී සංචාරක කර්මාන්තය තුළ යම් පිබිදීමක් වාර්තා වුණු අතරම පළමු අවාසනාවන්ත සිදුවීම ලෙස 1971 සිවිල් අර්බුදය ඇති කළ බලපෑම 1975 දක්වාම ඇති කළේය. ඒ ඔස්සේ නැගී එමින් පැවැති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රතිරූපය බිඳ වැටීමට ලක් විය. එය 1975 දක්වා යළි ගොඩ නැගිය නොහැකි වුවද 77 විවෘත ආර්ථිකයත් සමඟ යම් ආකාරයක යළි ගොඩ නැගීමක් දක්නට ලැබුණි. 77 න් පසුව කාලය තුළ ලක්ෂ තුනක් වැනි සංචාරක පැමිණීමක් වාර්තා වුණු අතරම 5% 6%ක වර්ධනයක් සමග 1982 වන විට සංචාරක කර්මාන්තයේ විශාල ජයග්‍රහණයක් එනම් ප්‍රථම වතාවට සංචාරක පැමිණීම ලක්ෂ හතරේ සීමාව පසු කිරීමට හැකි විය.
එකී ජයග්‍රහණය පසු කිරීමත් සමඟම 1983 ඇති වූ දෙමළ සිංහල කෝලහලය ඇති කළ බලපෑම සුළු පටු නොවේ. අත් කරගෙන තිබූ වර්ධනය මුළුමනින්ම බිඳ දැමීමට මෙකී අර්බුදය සමත් විය. යම් සංසන්දනයක් සිදු කරන විට 1971 තත්වයට වඩා විශාල වශයෙන් බලපෑමක් 1983 අර්බුදය ඇති කළ බව පෙනේ. එහි දී 1983 දෙමළ ජනතාව විශාල වශයෙන් ජාත්‍යන්තර රටවල පදිංචි වීමත් සමඟ ඔවුන් ජාත්‍යන්තරයට මත පළ කිරීම නිසා ලෝක ප්‍රචාරය 1971 ට වඩා විශාල වශයෙන් සිදු විය. ඒ ඔස්සේ සංචාරකයන් අප රටට පැමිණීමට මැලි කමක් දැක්වීම දැක ගත හැකි විය. එමෙන් ම යම් විදියක නැවත ප්‍රතිසංස්කරණයක් 86,87 කාල වකවානුවේ දී දැකගත හැකි වුවද 88 89 කාලසීමාව තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු තරුණ ප්‍රජාව ගෙන ගිය සන්නද්ධ අරගලය හේතුවෙන් ද විශාල කඩාවැටීමක් වාර්තා විය. විශේෂයෙන්ම 1983 LTTE සංවිධානය සිදු කළ වැඩසටහන් නතර නොවීම මත මෙම සන්නද්ධ අරගලයන් සිදු වූ අතර යම්තාක් දුරට දකුණේ ඇතිවූ සිද්ධිය මර්දනය කරගත හැකි වුවද උතුරේ ඇති වූ තත්වය තිස් අවුරුදු යුද්ධයක් දක්වා වර්ධනය විය.
මේ හේතු කොටගෙන සංචාරක ව්‍යාපාරයට ඇති වූ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී 1982 සංචාරක පැමිණීම ලක්ෂ 4 සීමාව පසු කළ ද 2009 යුද්ධය අවසන් වන තුරුම කාල වකවානුව තුළ සංචාරක පැමිණීම සනිටුහන් වන්නේ ලක්ෂ 1/2 4 වැනි සුළු ප්‍රමාණයකි. ඒ අනුව පෙනී යන්නේ ඒ කාලය තුළ වුවද යම්කිසි රඳවා ගැනීමක් පැවතුණ ද එකී ත්‍රස්තවාදය එල්ල කර බලපෑම සුළුපටු නොවන බවයි. එකී රඳවා ගැනීමට බලපෑම් කළ තවත් හේතු සාධකයක් ලෙස 2004 සුනාමි තත්ත්වය ද දැක ගත හැකිය. එහිදී විශාල වශයෙන් විදෙස් සංචාරකයන් මිය යෑමද සිදුවිය.
සිවිල් අර්බුද කෙරෙහි අවධානය යොමු කිරීමේ දී කිරීමේ දී අග්නි දිග ආසියාතික රටක් වන සිංගප්පූරුව මිලියන 16 දාසයක් වැනි වාර්ෂික සංචාරක පැමිණීමක් අත් කර ගනී. එමෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් ඇති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස එම රටේ පවත්න සාමකාමී බව දැක ගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඇති වූ සාමකාමී තත්ත්වය බෙහෙවින් බලපා සංඛ්‍යා දත්ත ඔස්සේ මනාව පිළිබිඹු වේ.
2013- 1,274,593
2014 -1,527,153
2015- 1,798,380
2017- 2,050,822
2018- 2,333,796
ඒ අනුව යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැති වාතාවරණයත් සමග සංචාරක කර්මාන්තය වේගවත් වර්ධනයක් සිදු වී ඇති බව පෙනී යයි.තව දුරටත් එකී වර්ධනයට හේතු සාධකයක් ලෙස 2009 වන විට ආදායම් ඉපයීම අතින් ප්‍රමුඛ පෙළේ පසුවන මැද මැදපෙරදිග රැකියා හා නිමි ඇඳුම් කර්මාන්ත අර්බුදයන්ට ලක් වූ අතර මෙරට ආර්ථික වර්ධනය උදෙසා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කිරීමත්ය. ඒ අනුව 2018 වන විට විශාල වර්ධනයක් සනිටුහන් වී ඇති ආකාරය ඉහත දත්ත අනුව පෙනී යයි. විශේෂෙන්ම 2017 වර්ෂයේ සංචාරක පැමිණීම අනුව සංසන්දනය කිරීමේ දී එහි වර්ධනය 10.3කි.
2018 අපේක්ෂිත සංචාරක පැමිණීම වූයේ ලක්ෂ 25 ක් වුව ද අත් කරගත හැකි වූයේ ලක්ෂ විසි තුනක් පමණි.සංචාරක වේදීන්ගේ ප්‍රශ්න වලට අනුව ඊට හේතුව වූයේ 2018 ඔක්තෝබර් 26 වන දින නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයයි. එහිදී ඇමරිකාව ,එංගලන්තය සංචාරක තහනම් පැනවුවේය. විශේෂයෙන්ම ඊට සති දෙකකට පෙර ලොව සංචාරක ගමනාන්තයන් අතර පළමු රට ලෙස lonely planet සඟරාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට ලක් කළ අතර එකී වාසි සහගත තත්ත්වය බිඳ දැමීමට දේශපාලන අස්ථාවර තත්ත්වයත් හේතු වීම අවාසනාවන්ත තත්වයකි. එමෙන්ම 2019 අප්‍රේල් 21 ඇතිවූ අන්තවාදී ප්‍රහාරය සඟරාව අප රට ලෝක අවධානයට ලක් කිරීම හේතුවෙන් ඇති වූ වාසි සහගත තත්ත්වය මුළුමනින්ම බිඳ දැමීමට හේතු විය. එනම් 2019 වසරේ අපේක්ෂිත සංචාරක පැමිණීම ලක්ෂ තිහක් වීමත් ජනවාරි පෙබරවාරි කාලය තුළ 5% 6%ක වර්ධනයක් ඇති වූ කාල වකවානුවක ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කළේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකි. lonely planet සඟරාවේ ප්‍රකාශයත් සමඟ ඉතා දියුණුවක් කරා එනම් අපේක්ෂිත සංචාරක පැමිණීමට එහා වර්ධනයක් හිමි කර ගැනීමට පසුබිම ජාත්‍යන්තරය විසින් අත්කර දුන් කාලවකවානුවක ගෝලීය ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් කෙරෙහි ඇති කරන බලපෑම ඉතා විශාල බව මැනවින් පෙන්වා දෙයි.
එහි දී ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ගේ පවුල ඇතුළු විදෙස් සංචාරකයන් 42 ක් මියයාමත්, විදේශීය රටවල් සංචාරක තහනම් පැනවීමත්, විදෙස් සංචාරකයන් 90%ක් ගමන් අවලංගු කිරීමත්, ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නැති වීමත්, ඇතුළු හේතු රැසක් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කිසි දාක නොවුණු ආකාරය කඩාවැටීමකට පත් විය.
කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන ආකාරයට ලොව රටවල් අතරින් සෑම රටකම වාගේ ගෝලීය ත්‍රස්තවාදය සිවිල් අර්බුද පවතියි. 2001 වර්ෂයේ බිලියන 12 ත් 15 ත් අතර ආර්ථික කඩාවැටීමකට ලක් වීමට හේතු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය විසින් එල්ල කල ප්‍රහාරය පවා ඇති කළ බලපෑම තාවකාලික වීම හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ද ඉදිරියට තවදුරටත් දියුණුව කරා ගෙන යාම අපහසු නොවූ බවට පාස්කු ප්‍රහාරයෙන් පසුව මාස කිහිපය සාක්ශී සපයයි.විශේෂයෙන්ම ම්ලිියන තුනක සංචාරක ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට වාර්ෂිකව අපේක්ෂා කළ ද පාස්කු ප්‍රහාර සිදුවීමෙන් පසුව මාස අටක කාලයක් තුළ සංචාරකයන් මිලියන 1.9 ක් ගෙන්වා ගැනීමට හැකි වීමද විශාල ජයග්‍රහණයකි.
ඒ කෙසේ වුව ද දැන් කොවිඩ් 19 හේතුවෙන් ඇති වී ඇති තත්වය අප රටට මෙන්ම මුළු මහත් ලෝකයම සංචාරක කර්මාන්තය දින නියමයකින් තොරව කිසිදා නො වුණු අයුරින් කඩා වැටීමට හේතුවක් වී ඇත. අපේ රටේ ප්‍රධානතම ආර්ථීක ක්‍රමෝපායක් ලෙස දළු ලා වැඩෙමින් සිටි මෙම කර්මාන්තය ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාමත් විශාල වශයෙන් කඩා වැටීමට හේතුවක් වී ඇත.
. දිනකට ආදායම ලක්ෂ 30 -50 ත් අතර ප්‍රමාණයක් උපයන සීගිරිය ඇතුළු ලෝක උරුම අටක්, මිරිස්ස, උණවටුන වැනි අලංකාර වෙරළ තීරයන්ටත්, තව දුරටත් නව ප්‍රවණතා ලෙස තල්මසුන් නැරඹීම මෙන්ම ත්‍රාසජනක සංචරණයටත් අවකාශ හිමි අපේ රට ඉතා හොඳ දියුණුවක් කරා ගෙන යාම උදෙසා මින් ඉදිරියට මෙතෙක් සිදු වූ ආකාරයේ අර්බුද මැඬ පවත්වා ගනිමින් ස්ථාවර දිගු කාලීන රාජ්‍ය ප්‍රතිපත්ති ඔස්සේ විශේෂ අවධානයක් සංචාරක කර්මාන්තය වෙත යොමු කරලීම වැදගත් වේ.
-සිතුමිණි උපේක්ෂා ගුණවීර